ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය අඩ?...
Article InformationAuthor, බීබීසී සිංහලPublished 22 ඔක්තෝබර් 2026, 05:17 GMTයාවත්කාලීනවී ඇත මිනිත්තු 7 පෙරකියවීමේ කාලය: මිනිත්තු 5ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය පවසයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද (ඔක්. 22) සිට ඔක්: 27 දක්වා වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකි අංශයේ අධ්යක්ෂක මෙරිල් මෙන්ඩිස් පැවසීය.
බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව එහි සඳහන් වේ.
අධික වැසි සමඟ ඇති විය හැකි හදිසි ගංවතුර තත්ත්වයන්, පස්කඳු කඩා වැටීම් සහ ගමනාගමනයට ඇති විය හැකි බාධා පිළිබඳව අවධානයෙන් සිටින ලෙස අදාළ ප්රදේශවල පදිංචිකරුවන්ට සහ රියදුරන්ට ආපදා කළමනාකරණ බලධාරීන් දැනුම් දී තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශ වලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතු කොටගෙන දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතී. තවද දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වන විට තත්පරයට ඝණ අඩි 16,500 ක් තරම් ශීඝ්රතාවයකින් දැදුරු ඔයට ජලය මුදාහරිමින් පවතී. මේ වන විට ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනුව මෙම ප්රමාණය ඉදිරියේදී තව දුරටත් වැඩි කිරීමට සිදුවිය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මෙම තත්ත්වය මත දැදුරු ඔය ද්රෝණියේ පිහිටි පහත සඳහන් ප්රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ගංඟා නිම්නයේ පහළ ප්රදේශ වලට හා ඒ ආශ්රිත පහත්බිම්වලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
End of වැඩිපුරම කියැවූ
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්නඋණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එමෙන් ම, රාජාංගණය ජලාශයට ලැබෙන ජල ප්රමාණය අධිකව පවතින බැවින් එය පාලනය කිරීම සඳහා ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි පහ බැගින් ද, වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් ද, වාන් දොරටු හතරක් අඩි තුන බැගින් ද, වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද විවෘත කර ඇත. ඒ අනුව තත්පරයට ඝන අඩි විශාල ප්රමාණයක ජලය රාජාංගණය ජලාශයෙන් කලාඔයට මුදා හැරෙමින් පවතී.
විශේෂයෙන්ම රාජාංගණය සහ දැදුරුඔය ජලාශයන්ට පහළින් කලාඔය ආශ්රිතව පදිංචි ජනතාව, ගංගාවේ ජල මට්ටමේ වෙනස්වීම් සහ වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.
මේ අතර, කැලණි ගඟේ ඉහළ ප්රදේශයට සහ මධ්යම ප්රදේශයට මිලිමීටර් 150ක පමණ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්යා හා ජල සම්පත් කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර පැවසීය.
එමෙන්ම දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලට ද, සබරගමුව සහ මධ්යම පළාත්වල බොහෝ ප්රදේශවලට ද, වයඹ පළාතේ උතුරු ප්රදේශයට සහ නැගෙනහිර පළාතේ සැලකිය යුතු ස්ථාන කිහිපයකට ද මිලිමීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.
"සමස්තයක් ලෙස සැලකූ විට වැව් 18කට ආසන්න සංඛ්යාවක් වාන් දමමින් පවතිනවා. මධ්යම සහ විශාල ජලාශ අතරින් විශේෂයෙන් රාජාංගණය සහ දැදුරුඔය ජලාශ සැලකිය යුතු ප්රමාණයක ජලය ගංගාවලට මුදා හරිමින් සිටිනවා.
"ඒ නිසා විශේෂයෙන් ම දැදුරුඔය සහ රාජාංගණය ජලාශවලට පහළ ප්රදේශවල, ගංගා ආශ්රිතව ජීවත් වන ජනතාව සහ ජලය භාවිත කරන පිරිස් ඉතා සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේ ම තෙත් කලාපයේ ගංගාවල ජල මට්ටම් ද සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතිනවා."
කෙසේ වෙතත්, මේ වන විට පවතින වර්ෂාපතන තත්ත්වයන් අනුව ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොපෙනුණත්, අද දිනයේ ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සාමාන්ය තත්ත්වයට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවට පුරෝකථනය කර තිබෙනවා.
එමෙන්ම දිවයිනේ බොහෝ ප්රදේශවලට වැසි ලැබෙනු ඇති බවත් එම පුරෝකථනයේ සඳහන් වෙනවා.
ඒ අනුව ඇතැම් ප්රදේශවලට කෙටි කාලයක් තුළ ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් ගංගාවල ජල මට්ටම් හදිසියේ ඉහළ යා හැකියි.
මේ නිසා ගංගා ආශ්රිතව සහ පහත් බිම් ප්රදේශවල ජීවත් වන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා," යනුවෙන් ඔහු පැවසීය.




0 Comentário(s)
Deixe seu comentário