2011 වසරේ උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටි පාසල් ශිෂ්‍?...

2011 වසරේ උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටි පාසල් ශිෂ්‍යාවකට බරපතළ ලිංගික අපරාධයක් සිදු කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු හින්දු පූජකවරයෙකු වන නිත්‍යනන්දන් මෝහන්රාජ් නමැත්තාට වවුනියාව මහාධිකරණය නියම කර තිබූ සිර දඬුවම් හා දඩ මුදල් අභියාචනාධිකරණය විසින් තහවුරු කරනු ලැබ තිබේ.

මෙම දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ පූජකවරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ඉවත දමමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ ය.

අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග කෙරිණි.

2011 වසරේ අතවරයට පත් මෙම සිසුවිය වවුනියාව ප්‍රදේශයේ පිහිටි මැණික් ෆාම් නමැති සරණාගත කඳවුරේ රැඳී සිට ඇති අතර, ඇය උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සූදානමින් පසුවූ 17 හැවිරිදි තැනැත්තියක බවත් නඩු විභාගයේදී අනාවරණය විය.

ඇය විත්තිකාර පූජකවරයාගේ මුලතීව්, උදයාර් කට්ටු ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එහි රැඳී සිටිමින් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිට ඇති අතර විත්තිකාර පූජකවරයා ඇයගේ ඥාතියෙකු බව ද නඩු විභාගයේදී හෙළි විය.

2011 වසරේ නොවැම්බර් මස 11 වන දා හෝ ඊට ආසන්න දිනයකදී එම දැරිය සිය නිවස තුළදී විත්තිකරු විසින් බරපතළ ලිංගික අපරාධයක් සිදු කළ බවත්, ඉන්පසුව එම දැරිය අදාළ නිවසින් පලාගොස් ඇය රැඳී සිටි සරණාගත කඳවුරට පැමිණ ඇති බවත් අනාවරණය වී තිබිණි.

මාස කීපයක් ගත වූ විට ඇය ගැබිනියක් බව අනාවරණය වූ අතර, ඒ පිළිබඳව සිදුකළ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඇය කියා සිටියේ විත්තිකරු තමන්ව ලිංගික අපරාධයක් කළ බව ය.

එහෙත්, පොලිස් විමර්ශනවලදී ප්‍රකාශ ලබා දුන් විත්තිකරු මෙම ක්‍රියාව අදාළ දැරියගේ කැමැත්ත මත සිදුවූ බව ප්‍රකාශ කර තිබිණි.

End of වැඩිපුරම කියැවූ

මෙම සිද්ධියට අදාළව ඩී.එන්.ඒ. වාර්තාවක් කැඳවා තිබූ අතර, ඒ මගින් තහවුරු කර තිබුණේ මෙම අතවරය හේතුවෙන් අදාළ දැරියගේ කුසේ සිටින දරුවාගේ පියා මෙම විත්තිකරු බව ය.

ඉන් අනතුරුව අදාළ දැරියට ලිංගික අපරාධයක් කළ බවට චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව වවුනියාව මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කළ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරු එම චෝදනාවලට වරදකරු කෙරිණි.

ඒ අනුව, විත්තිකරුට වවුනියාව මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 17ක සිර දඬුවම් නියම කෙරිණි.

ඊට අමතරව රුපියල් 5000ක දඩයක් ද අධිකරණය විසින් නියම කළ අතර

රුපියල් ලක්ෂ තුනක මුදලක් වන්දි වශයෙන් අතවරයට පත් දැරියට ගෙවිය යුතු බවත් වවුනියාව මහාධිකරණය විත්තිකරුට නියම කළේ ය.

අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්නඋණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉන් අනතුරුව එම දඬුවම්වලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරු අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව දීර්ඝ විභාගයක් සිදු කෙරිණි.

අනතුරුව විනිසුරු අමල් රණරාජාගේ එකඟත්වය ඇතිව සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර විත්තිකරු දැරියගේ කැමැත්ත මත මෙම ක්‍රියාව සිදුකළ බවට ප්‍රකාශ කර තිබුණත් එය පිළිගත නොහැකි බව නඩු තීන්දුවේ සඳහන් කර තිබිණි.

මෙහිදී "කැමැත්ත" යන කරුණ පිළිබඳව විශ්ලේෂණයක් සිදුකළ විනිසුරුවරයා "කිසියම් බියක් හෝ කම්පනයක් මත යටත් වීමක් හෝ නිහඬව සිටීමක් කැමැත්ත වශයෙන් අර්ථකථනය කළ නොහැකි යි. විත්තිකරුගේ ආගමික අධිකාරිය, තර්ජන සහ යුද පසුබිම තුළ ඇති වූ බිය හමුවේ වින්දිතයා අසරණව සිටි බව පැහැදිලි යි," යනුවෙන් පැවසීය.